Monday, December 21, 2015

ඉඩැති හැම තැනකම
ඔබ පිරී ඇති
නිසි උවමක්ද නැති
හිතැති පද මඟ හැරි 
මිහිරැතිම කවි
ඔබ සිඹින හැටි


Saturday, November 21, 2015

පසුබිම් ගීතය හිටිවනම නතර වූ දිනයක
මිමිනුමක් බදු ස්වරයකින්
තවම තරු කියවිය නොහැකැයි
ඔබ තවම ගයන්නේ දැයි ඇසෙයි
පිලිවදන් නැති සුසුම්  දෙබසක අවසන
මඟ හැරුණු කවියක් ලියැවෙයි

 

Saturday, November 14, 2015

පෙරලා කිසිත් නොවිමසන
මිදුන හදවතක් ළඟ නවතිමි
වසත් කල පිපෙන්නට
ශිත ඍතුවේ දිනක
නිසරු හිම පොළවක
ප්‍රීතියේ බිජුවටය වළලමි

Saturday, November 7, 2015

කවි නැති සති

කෙටි කූරු අතැඟිලි අගින්
මං මගේ නළලත තදින්
තෙරපනා  දිනයක මැදින්
ශෝකයත් සදාකාලික නොවන බව
තිර ලෙසම පවසන

ප්‍රේමයෙන් මත් බවින්
රෝස මල් තබා  හද මැදින්
තුරුළු කර ගත් විට තදින්
තියුණු කටු ඇති බවක්
අනාරාධිතව මුමුණන

මගේ යැයි කිව හැකි
එකම එක බස
චපල පෙම්වතෙකු ලෙස
පිටව යා හැකිද
මා හැර ?


Tuesday, October 20, 2015

හැම කවියකම  අර්ධයක් ඔබෙයි
ඉතිරි අර්ධය අපෙයි
අහම්බෙන් ගෙතෙන කෙටි  කවිය ඔබෙයි
නොලියවෙන දිගු කවිය අපෙයි

Saturday, October 17, 2015

ගැහැණු හිතකට
රිසිලෙස කවි ගොතන්නට
පිරිමි හිත අවභාවිතා
කල නොහැකි බව
පළමු නීතියයි
ඒත් මේ ...
පළමුව සරළ රීතිත්
දෙවනුව නොපෙනෙන සීමාත්
පහසුවෙන් සිඳිය හැකි ක්‍රීඩාවයි


Thursday, October 15, 2015

අවසර නැතිව සපැමිණ
අවසර නැතිව පිටව ගිය
අවසන දුක් ගන්න
අවසර අයදින්ට විය

Sunday, October 11, 2015

හෙටත් එන්නම් කියා
සයුරු නළලත
දෙතොලත තියා
හිරුත් ඈතක ගියා
තරු අතර මිමිණෙනා
සරදමින් රතුවෙනා
තරමටම කෙලිකතා
හරිම නපුරුයි තමා


Saturday, October 10, 2015

ආදරයේ වැතිර, ආදරය ගැන කවිය ,ලියනු මිස

ආදරයේ වැතිර
ආදරය ගැන කවිය
ලියනු මිස
කවියකින් පවා
රිදවිය නොහැකි
හදක් ඇත
විටින් විට කොනහා
බලනු මිස හද
කැළැල් ඇති වන
රිදුම්  දෙන්නට
රිසි නැත

Wednesday, October 7, 2015

මං රැඳිය යුතුවෙද සියවරක් ඉපදෙමින්, මියයමින්

ඔබ දරන ඒ  කිරුල මගෙයි
ප්‍රේමයේ අහඹු හැඩ වලින්
ලියකම් කලේ මමයි
විටින් විට ඉරිතලන
තැන් පවා
ඉවසුමෙන් පිරිද්දුවේ මමයි
ඔය දිළෙන්නේ ලෝහය නොවෙයි
ප්‍රේමයත් , ශෝකයත් ,
සෙනෙහසත් , ඔබ වෙතම
බැඳි බාල තෘෂ්ණාවත් පමණමයි
ඔප  දැමිය හැක්කේ
මගේ කඳුලින් පමණයි
ඒත් ඔබ කිරුල දරණුවස්
මං රැඳිය යුතුවෙද
සියවරක් ඉපදෙමින්, මියයමින් ,
අතරතුර රුධිරය වෑස්සෙන හදින්
ඔබ ළඟින්


Monday, October 5, 2015

වෙහෙසුනූ ඇස් පියන්
සිඹින
චුම්බන අහුර
වර්ණවත් සිහිනයෙන්
මිදෙන්නට
දෙන්නේම නැත

Friday, October 2, 2015

කවියකට ළඟ
කවියක් නොවෙන
කවි නොකියවන
කවිය

Tuesday, September 29, 2015

ගිම්හානය කියා ඍතුවක් නැත

ගිම්හානය කියා
ඍතුවක්  නැත
වස්සානයද ආගන්තුකය
ඉඳ හිට  ඇවිත් යන

උරණ වූ සුලඟ
දැන් ගමන් යන්නේම නැත
තරු පවා උපන්ගෙයිනිදු
පිටමංව ඇත

කවියක් අතරමඟ
දැන් ඇතීයි පවසන
ඔතෑනි තරබාරු
ගැහැනියකි රැය

Friday, September 18, 2015

සතුටකට වඩා හිත ශෝකයට ලඟයි, ඒ ඔබේ වරදක් නොවෙයි

මද සිනා වස්සමින්  , ප්‍රිය තෙපුල් ඇසෙයි
ප්‍රීතිමත් සන්ද්‍යාව ඇරඹුනා  විතරමයි
හිටිවනම කාලයත් නතරවී වගෙයි
මඟ ඇරුනු යමක් ඇති  බවක් දැනෙයි
හදවතේ නැති  සතුට දෙතොලඟින් මැවෙයි
කඩින් කඩ වට  වැස්ස සිසිලසක්  ගෙනෙයි
අවසනදී අහස ගැබ දේදුන්න මවයි
නෙක වර්ණ දකිනු මිස සැබෑවක් නොවෙයි
කවියකට ළඟ බසින් ඔබ සෙමින් කියයි
අහේතුක සතුටකින් හදවතත් පිරෙයි
සතුටකට වඩා හිත ශෝකයට ලඟයි
ඒ ඔබේ වරදක් නොවෙයි



Saturday, September 5, 2015

මම ඔබව හමු වෙමි

හාත්පස අඳුරෙන්
ඔබට මා නොපෙනන
පැවතීම පමණක්
දැනෙන දිනයක ,
කාලයෙන් මකනු බැරි මතකයන්
පිළිසිඳුන දිනයට
දිනයකට පෙර ,
අතීතෙන් ගෙන ආ
හැම කඳුලක්ම
වත්මනෙන් එපිටට
යන මගක්  නොමදැන
අතරමං වූ දිනයක ,
මම  ඔබව හමු වෙමි
ප්‍රේමයෙහි හැරවුමත් ,
නැවතුමත් අපහසු බව ,
ඔබ උගත් දිනයක .........

Monday, August 31, 2015

උණුසුම් සුසුම් සියයක් ,
මෘදු හාදු කිහිපයක් ,
කවියකට  සුදුසු හුරුබුහිටි වදනක් ,
ඔබ දුරක යන විට තියා යන්න ,
පුරුදු තනිකම   ගෙන එන්න පෙර අඳුර ,
එකින් එක හැඩයකට අමුණන්න ,
ඔබ ආ විටක පළඳන්න ............

Friday, August 21, 2015

මතකයේ මරණය

ශෝකයද , ප්‍රීතියද නැති
පුරාතණ  රිදුම් සඟවන
උත්ථානයක් නොපතන
මතකයේ මරණය,
සිරුරක්ද රහිතව
සැරිසරන හදවතක් පමණක්ව .....


Wednesday, August 12, 2015

මල් පිපුණ උයන් වතු පවා
නොදකින්න සමනලුන් ගිවිසී ,
පපුතුරේ වෙලී උන් දෙව්දුවක්
පවා අතරමග නවතී ,
තොටිල්ලක පවා සදාකාලික
නැළවිල්ල හිමි නොවේ ,
ඒ නිසා සමහරක් විට ,
අකුරතර මැවූ ළතෙත් හිත ,
ඇතුවත් වෙන්නැති ,
නැතුවත් වෙන්නැති ....

Sunday, August 9, 2015

තාල  පදනම් බිඳ
හද වෙණ වැයුණු යුතු කලෙක
වැයෙන්නේ ඇයි
ඉසියුම් තාලෙකින් එය .....

රාත්‍රිය ගෙවුන පසු
මිහිරි මෘදු පහස
නොලැබෙතැයි දැන දැනම
රැදෙන්නට හදන්නේ ඇයි
සඳ එළිය මේ තරමට ......

Saturday, August 1, 2015

ප්‍රේමය තනිකරම දේශපාලනිකයි

වෙනස් වේදිකා මතට නැග
රිදුණු තැන් , කැළැල්,සුව නොවූ කැපුම් ,
පිරිමදින ගමන් නොගුණම මතුරමින් ,
පොරොන්දුව කඩකලේ මෙහෙමයි ,
උඩු දිවූ මමත්වය දොස් ගෙනාවේ මෙහෙමයි ,
අනේ හිමි කර ගන්නට නෙමෙයි ,
ඉපැරණි සිහිනවල පැතුවේ
යහපතම විතරයි ,
ගොරහැඩි වේදිකාවල  නිහඩ දේශණ ඔහොමයි ......
ඉතිං සත්‍යයේ රැය එළඹි විට ,
මිතුරු සංධානයට එළඹ හදවත සමග ,
මහා පදනම් ඉරි තලා නොයන ලෙස ,
රහසින්ම කොදුරයි ,
ප්‍රේමය, ප්‍රේමයම  විතරයි ................






Thursday, July 30, 2015

මං මටම කීවා , පළමු දහස හොදම දහස

නොදත් බව නොදත්
දැරියකව උන් කලෙක ,
කියවූ ගණනට පොත්
ලැබෙයි දැනුමත් ,
දහස් වන පොත කියවූ දිනේ
මං මටම කීවා 
පළමු දහස හොදම දහස

යොවුන් විය මැද
අසල්වැසි ළදරු තරු දෙනතකට ,
පෙළ පොතක් පෙරලාන
උකුලෙහි හිදුවා කියා දුන්නා ,
ඩයිනෝසිරයන්ට තටු නැත
ඉතා හොඳ මකරුන්ට ඇත ,
තුටු පඩුරු ලැබුන දින
මං මටම කීවා 
පළමු දහස හොදම දහස

මට දැනෙන , මං දකින
ඇතැම් විට මගේ නොවන
අමුණාපු ආකුරැතර
දහස්වර නෙත් යැවූ
නොදන්නා සියක් වූ හදවත්
බලමින් යන්තමින් බොඳ වූ
දැරියකගේ නෙතින්
මං මටම කීවා 
පළමු දහස හොදම දහස


සති අගත් , සති  මැදත් ඇතැම් දිනවලදී
කිසිම කවියකට අහුනොවී
කිසිම පොතකට ලඝූ නොවී
ඇති බවත් දැනි දැනි
අගින් ඇතැගිලි ,
ලිස්සා යන සිතුවිලි
ඇරඹුමත් ,අවසානයත් නොපෙනී
යන තරම් නොපැහැදිලී


Monday, July 27, 2015

කාමරේ අඳුරු මුල්ලක
ඉකිබිඳින සර්ව කාලත්‍ර ප්‍රේමයකි,
ඊට මෙහැයින් රාග නිශ්‍රිතද මිශ්‍රිතද
නොදන්නා ප්‍රේමයද
විරහවේ නොදත් පැහැයද
හිරුත් හිම පියල්ලක ලා කියාදෙන්නට ආ
දැන් කෝප ගෙන ගුගුරනා කවියෙකි,
අත ලඟම පිටුපා රවන
දුක්බර මොන්ස්ටරයෙකි
දුරු රටක ඉඳ නැව් නැග
ආවේ මොටදැයි  කටත් ඇද කර විමසන,
පෙර සෙනෙහේ දැන් නැතැයි
චපල ගති මතු උනැයි තැනින් තැන
තවත් පොඩි කසුකුසුය,
මේ කිසිත් නොදත් ලෙස
උඬගු හිස, කඳ සෘජුව නොදත් බසකට,
වියත් පොතකට  සම වැදුන ලෙස රඟන
හද දියව වැගිරෙනා කෙල්ලක්ය...


ප.ලි
සර්ව කාලත්‍ර ප්‍රේමය-සුනේත්‍රා රාජකරුණානායක
හිරුත් හිම පියල්ලක-මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
Sad Monsters:growling on the outside, crying on the inside-Frank Lesser


Saturday, July 25, 2015

ඔබේ නරකම ගුණ,
තිබුනා තණ බිස්සටත් හොඳටෝම
පතුල් කිතියෙන් ඇරඹ,
අවසන හදවතට ලංවන

මටත් තිබුණා කොපුල් රතුවන,
නිදිකුම්බ මලක හැඩ ගෙන
විලියෙන් ඇකිලෙන ගුණය,
උණුසුම් හාද්දෙන් ඉක්බිතිව


මහා නුග ගස් පවා ඉදිරී වැටෙන විට
ඉතිරි වු ලපටි පැල කියන්නේ
දහස් බාධක ඇතත් වැඩෙන බව
මහ ගහේ තරමටම

ඉදින්,
සියක් ඉඳිකටු මිටින් ගෙන
නිරතුරුව හද පාරන
නොගිනිය හැකි ළදරු දුක
එදා ඉඳ නිර්වින්දිතය.........

Sunday, July 19, 2015

ගොරහැඬි හඬකින් ගැයෙන
විරහ ගීයක පලමු අර්ධය
යෝගිනියකව රස විඳිමි...
වෘතය බිඳිතැයි බියෙන්
ඉතිරි අර්ධය වැයෙන්නට
පෙර නවතමි.....


Wednesday, July 15, 2015

මට ඕනි

මට ඕනි බැළලියක් වෙන්න,
පුරු පුරු ගගා කිරි කහට තේ බොන්න,
කවියක් ලියන්න විතරක් නැගිටින්න,
බත් උයන්න, රෙදි මඳින්න , අතුගාන්න
දැන් ඉතින් නැගිටින්න,
වැරදිලා හරි කිව්වොතින් හෙම,
කොටි දෙනක් වෙලා ගොරවන්න,
වැඩුන නිය පෙන්නලා ඔරවන්න,
ආයෙමත් නිදියන්න.........

Saturday, July 11, 2015

අහස් නිල් පැහැ වත්සුනෙණ්
රෑ පුරා හැඬු ලකුණු මැකුවෙමි
හද දවන රුදුරු දෑ
නොකිවැයි හිත හදා ගත්තෙමි
ඔසරියට ගැළපෙන හැඩෙන්
තෑගි දුන් මුතු හර පැළැන්දෙමි

රන් හුයෙන් බැඳුනු හිත්
සිත් හුයෙන් වෙන් උවත්
සුපුරුදුම සිනහවෙන්
හෙට උදෙත් බත් බඳිමි

පියාපත් සවිමත් උනත්
ඉගිල්ලී නොයාහිඳ
ඉතිරි වු උණුහුමක්
මහා ගින්නක් වන්න පැතුවෙමි



Tuesday, July 7, 2015

අද දවස

අද දවස කැඳ දැමු සාරියක්
රැලි පවා අවනත නොවෙන
පෙර නැමුම් හැර නොයන
අඟුරු ඉස්ත්‍රික්කයෙන් මැද
හැඩ දමා ඇන්දවූ සාරියක්

Wednesday, July 1, 2015

සැණකෙලිය

එකෝමත් එක  සැණකෙලියක්,
අතරමැදදි දත්/නොදත්තෙක්,
කියමින් උන්නාලු දවසක්,
ලේ කකියවන දේ හුඟාක්,
කිලිපොලා යා යුතු  උනත්,
ඔල්වරසන් දුන්නාලු සෙනඟක්.....

Tuesday, June 30, 2015

ආදරේ කියන්නේ ...........

මහන්සිම දවසක උරහිසේ හිසලන්න දෙන එක,
ඇස් පියන් හාදුවෙන් පිහින එක,
කිසිවක්ම නොකියා කියන්නට දෙන එක,
අකුරු බොඳ වුන දින පොතේ පිටු,
පිරිමදින්නට දෙන එක,
කිසිම කවියක් නොතේරිත් තවම කියවන එක,
ආදරේ නොකියා ආදරේ දෙන එක........


Friday, June 26, 2015

සෙත් කවිය

එක මලක පෙති උනත්,
වෙන වෙනම හිත් ඇත....

අකීකරු හුළඟකින් මැලවෙන,
පිණි බිඳුවක් පවා ,
බර වැඩී කියන,
මිහිරිම හිතක් ඇති,
මෘදුම මෘදු මල් පෙත්ත,
මේ කර්කශ ඉඩෝරය,
කොහොම ඉවසයිද?

ළඟින් ඉඳ දුක උරා ගනු පිණිස,
පෙරහනක්  වනු නොහැකි විට,
සවනතට,මසැසටද,
හසු නොවනු පිණිස,
අවකාශයට මුසු කරන්නද?..........




Wednesday, June 24, 2015

රෝස පෙත්ත

සිනිඳු සියුමැලි රෝස පෙත්තක්
කොනිත්තා ඇත උල් නියක්
හිම ශ්වේත පෑ කොපුල් හකුලා
අතත් පෑවා නොසතුටින්

යුගත් නෙතු සම මැණික මකරත
හෙටත් රිදවා තිබුනොතින්
රිදි ඕනෑ නොවෙයි එතකොට
ලපටි මුව මදහස තරම්


Sunday, June 21, 2015

ගිනිගත් නගරයක, වැයුවෙමි වීණාව

මන්ද්‍ර ස්වරයෙන් ගී ගැයු
සියොත් කැල ගොළුකෙරු
අරුම යුග එලඹැතයි
හිත හිතම

පෙති තැලුන, පැහැ මැකුණු
වැර යොදා පිබිදවු
වසත් සමයට පෙරම පරවුණු
ලපටි මල් දැක දැකම

තටු සිඳුන සමනලුන්
අතරමග බල බලම
ගිනිගත් නගරයක
වැයුවෙමි වීණාව

Sunday, June 14, 2015

ඔබ සිනිඳු කටුවකි

ඔබ සිනිඳු කටුවකි ,
හදවතේ ගැඹුරටම බැස ඇති ,
ඇඟිලි තුඩගින් රිදී රිදී ,
සොයන හැම විටදීම ,
තවත් ගැඹුරට වදී .....

ගෙනයන්න නොහැකිවෙද ,
පැසවන මතකය මෙහි ,
එයම විස දුමක් වී ,
හුස්ම සිර කරවයි නිති .....

ඔබේ සෙවනැළි වැටී ,
හැම කවියම අඳුරු වෙන හැටි ,
ඉවසිය නොහැකි විටදී ,
ගැඹුරු හුස්මෙන් පහන නිවමි ........

නැවත එන ඇරයුම් නැති ,
අකුරු පටලා කවිද තැනෙති ,
වඩන විට විදසුන් නිති ,
රිදුම් නවතින දිනක් එනු ඇති........

Saturday, June 13, 2015

රුපුන්

රුපුන් මොකටද පිටින් ,
තවතවත් රිද්දන්න ,
කරදර දෙන්න ,
ඇති තරං අඬවන්න ,
හිමින් යාවෙන ,ඇදුම් දෙන ,
තුවාලය පාරන්න ,
ඉන්නකොට මං,
සැදී පැහැදීම ..............

Friday, June 12, 2015

ක්ෂුද්‍ර හදවතක , විසල් ප්‍රේමය

ක්ෂුද්‍ර හදවතක ,
විසල් ප්‍රේමයක් හටගෙන ඇත,
ඉතිං දැන් රෝස පෙති අලවමි ,
ඉරිතැලුම් නොපෙනෙන ලෙස .........

Thursday, June 11, 2015

ඔය තරම් දිගු දෙපා නැති නිසා,
හතිලමින් අතරමඟ ගිමන් හැරි නිසා ,
නවතිමින් රිදුණ තැන් පිරික්සූ නිසා,
කිවූ තරම් ඉක්මනින් යන්න බැරි වුණා........

Tuesday, June 9, 2015

දෙවියකුට හසුනක්

පහසුයි මා සොයා ගන්නට
හුඟක් උස් ,
සියගණන් සෙනගතර ,
දණින් වැටී ,
ඔබ සොයන්නේ මම.....

පහසුයි මගේ හඬ අසන්නට,
සැනසුමත් , වෛවර්ණ සිහිනත් ,
ආයේමත් දෙත හැකිද ?
ඇසෙන නෑසෙන හඬින් ,
අහන්නේ මම ......

දැන් අපහසුයි මට ඔබ දකින්නට ,
අසීරුම පිරික්සුමකින් පසුව,

දෙඋරින්ම අල්ලා නැගිටවිය හැකිනම් ,
දයාවම පිරුණ හදකින් අසිරි ගැන්විය හැකිනම් ,
පුළුල් උරතලය හඬන්නට දිය හැකිනම් ,
තුදුස් වසකට පෙර ඔබ දුටු ලෙසම ඉන්නම් ..........


Sunday, June 7, 2015

ගිලන් වු හදවත්

තදින් ලෙඩ වූ විටක  හදවත් ,
ගිලිය යුතු වෙයි පොත්පත් ,
කෑමට පෙර එකක් ,
කෑමෙන් පසු තව එකක් ,
තිබුනොත් බරසාර අදහස් ,
රටවල් අතර ගිවිසුම්,
නොතේරෙන සිතියම් ,
සුවකල හැකිය යන්තම්,
නොතිබිය යුතුමවේ ,
සීතල පෙම් කතා නම් ,
ඒවා හොඳ නෑ කෝමත් ..............

Wednesday, June 3, 2015

මකර ටැටුව

නොඋස් කොලරය සහිත  ,
නොගැඹුරු කරැති හැට්ටය ,
සුළං රැල්ලකට උවත් ,
ඉඩ නොමැති ලෙස ඇඳි සාරිය ,
හිරි ඔතප් සමඟම ,
සුරකිනු ඇති මකර ටැටුව.........





Tuesday, June 2, 2015

විමතියෙන් නිරුත්තරවී තැවෙනු මිස


විමතියෙන් නිරුත්තරවී තැවෙනු මිස ,
අවිහිංසකම පැණ ඉදිරිපිට ,
කොහොම අමනාප වෙන්නද ?
ජීවිතය ,
මම ............

දිවි ගෙවන්නට දුක ,
දරාගත යුතු කලක් එළඹී ඇත ,
සිනහවෙන් සිනහවක් ණයට ගෙන ,
දෙතොල් හැඩ කල හැක.........

නැතිවුණ තැනක්  නොම දැන ,
සුරැකිව තැබූ අවසන් කදුළු බිඳුවද ,
තැවුලම ගුරුකොට උපන් බැමී ,
දැකිය යුතු වෙයි හෙට,
හිරු එලිය සමඟම ...