Saturday, March 31, 2018

මුදාහල දෙඅත් ඇතිවුව
විදා වැළඳ ගනු නොහැකිය
දමා ගියෙන් ගිරිහිස ගෙය
මුලාවකි නැවත එන මඟ


Friday, May 12, 2017

වෙහෙසින් වෙහෙසවී ලියමි

අඳුරටම ප්‍රිය කෙරෙන බැවිනි
සඳ එළිය වඩා මෘදු වෙන්න යෙදිනි
දහවලෙහි දකින්නට රිසිවී
වෙහෙසින් වෙහෙසුණා පමණි

පසුකල ආ  බැවින් නියං , තද වැසි
ග්‍රීෂ්මය උසුලන්න දනිමි
සුළඟ දෑතින්ම නවතා
වෙහෙසින් වෙහෙසුණා පමණි

උස ගසක අතු අගක පිපෙන්නට නොදනී
මඩෙහි පිපුනා පමණි
නොගැවී දියෙන් නෙළුමක්ව පිපෙනු මිස
වෙහෙසින් වෙහෙසෙන්න නොරිසි



Sunday, July 31, 2016

බිඳුණු කවුළුවෙන් සඳ පෙරී අවුත්

බිඳුණු කවුළුවෙන් සඳ පෙරී අවුත්
හැඩක් නැති අයෙක් මෙන්
යහන මත නිදයි
ඇද ගැහුණු සෙවණැල්ල
කැඩුණු පා සළඹක්
තුරුළු කොට හඬයි
විශ්වයක් පාළුවක් ඉතිරිකර
නමක් නැති  කෙනෙක්
නොකියාම නික්මෙයි

Saturday, July 16, 2016

තැවෙනු කුමටද සුළඟක් , රැඳුණු උයනක් සොයමින්

තැවෙනු කුමටද සුළඟක්
රැඳුණු උයනක් සොයමින්
හිඳිනු කුමටද අපුලින්
නුහුරු සුවඳක් විඳිමින්
රැඳෙනු කුමටද සොයමින්
ඉතිරි වූ කිසිවක්ම ඊයෙන්
ඉඳිනු කුමටද උවැසියක් වෙමින්
දෙවොල අතැහැර ගියෙන් දෙවියන්

Thursday, April 28, 2016

පැරණි කවියක කුරුටු සිඹිමි

මිදුණු කඳුළක් වැටෙයි
කිසිම පැතුමක් නොමැති කවියක් තෙමෙයි
ජීවිතය  හැමවිටම මෙහෙමයි
එකවරම ඇරඹෙයි
නොදන්වා පිටවෙයි
සතුටටත් විපතටත්
එකම දෙනෙතක කඳුළු උපදී
පිටතටත් නොපෙනී
මහා ඝෝෂා සිතෙහි පවතී
රළු පොලොව දෙපතුලින් සිඹිමින්
නැගී සිටුමට නොහැකි විටදී
මැදිහත්ව උන් දිනක ලියු
පැරණි කවියක කුරුටු සිඹිමි

Thursday, April 14, 2016

මහා කලකට පසුව
සිනහව පැමිණ ඇත නැකතට
සලකුණක් තබා මිස
යා නොහැකි බව
කියයි උඩඟුව
දෙතොල් සිප වැළඳ
අතීතය තබා හද මත
පිටව යයි නොකියාම
පසුපසින්විත් ගෙළ සිඹින
සුසුම්, සිහිවටනය
එක්ව උන් කාලයේ එකතුකල

Saturday, April 2, 2016

නෙතු පියව නොපියවෙන
දිගු රැයක අතරමඟ
ඔය , ඔතැන හිඳි තැනම
තැවී  තැවී ඉඳීවිද ?
අතහැරුණ තැන
අමතකව රැඳේවිද?
නෙතුපියා තනිව
මුමුණමින්  ඉඳීවිද ගී පද ?
තනි තනිව පෙර  දුක්
උර තියා නික්ම ගිය තැනකට
නෑවිදින් ඉදීවිද ?