Sunday, July 31, 2016

බිඳුණු කවුළුවෙන් සඳ පෙරී අවුත්

බිඳුණු කවුළුවෙන් සඳ පෙරී අවුත්
හැඩක් නැති අයෙක් මෙන්
යහන මත නිදයි
ඇද ගැහුණු සෙවණැල්ල
කැඩුණු පා සළඹක්
තුරුළු කොට හඬයි
විශ්වයක් පාළුවක් ඉතිරිකර
නමක් නැති  කෙනෙක්
නොකියාම නික්මෙයි

Saturday, July 16, 2016

තැවෙනු කුමටද සුළඟක් , රැඳුණු උයනක් සොයමින්

තැවෙනු කුමටද සුළඟක්
රැඳුණු උයනක් සොයමින්
හිඳිනු කුමටද අපුලින්
නුහුරු සුවඳක් විඳිමින්
රැඳෙනු කුමටද සොයමින්
ඉතිරි වූ කිසිවක්ම ඊයෙන්
ඉඳිනු කුමටද උවැසියක් වෙමින්
දෙවොල අතැහැර ගියෙන් දෙවියන්

Thursday, April 28, 2016

පැරණි කවියක කුරුටු සිඹිමි

මිදුණු කඳුළක් වැටෙයි
කිසිම පැතුමක් නොමැති කවියක් තෙමෙයි
ජීවිතය  හැමවිටම මෙහෙමයි
එකවරම ඇරඹෙයි
නොදන්වා පිටවෙයි
සතුටටත් විපතටත්
එකම දෙනෙතක කඳුළු උපදී
පිටතටත් නොපෙනී
මහා ඝෝෂා සිතෙහි පවතී
රළු පොලොව දෙපතුලින් සිඹිමින්
නැගී සිටුමට නොහැකි විටදී
මැදිහත්ව උන් දිනක ලියු
පැරණි කවියක කුරුටු සිඹිමි

Thursday, April 14, 2016

මහා කලකට පසුව
සිනහව පැමිණ ඇත නැකතට
සලකුණක් තබා මිස
යා නොහැකි බව
කියයි උඩඟුව
දෙතොල් සිප වැළඳ
අතීතය තබා හද මත
පිටව යයි නොකියාම
පසුපසින්විත් ගෙළ සිඹින
සුසුම්, සිහිවටනය
එක්ව උන් කාලයේ එකතුකල

Saturday, April 2, 2016

නෙතු පියව නොපියවෙන
දිගු රැයක අතරමඟ
ඔය , ඔතැන හිඳි තැනම
තැවී  තැවී ඉඳීවිද ?
අතහැරුණ තැන
අමතකව රැඳේවිද?
නෙතුපියා තනිව
මුමුණමින්  ඉඳීවිද ගී පද ?
තනි තනිව පෙර  දුක්
උර තියා නික්ම ගිය තැනකට
නෑවිදින් ඉදීවිද ?

Saturday, March 26, 2016

රළ ,
දුවැවිත් සිපගනී
ඇවිත් යන පමාවට

වෙරළ ,
නොදන්නා ලෙස හිඳී
වගක්වත් නොමැතිව

Thursday, January 28, 2016

මේ කන්ද , මේ පෙනෙන මුදුන

මේ කන්ද , මේ  පෙනෙන මුදුන තෙක්
තනිව තරණය කලෙන්
අතරමඟ පෙලූ දුක් නැවත විඳිනට නොරිසී
ඔබ නොනැවතී ගලන
ගඟක් වුයේ මෙහිදී
හදවත් හැඩැති  කුඩා බඳුනක සිරවී
මේ හැඩය ගන්නැයි
මේ පැහැය, මේ රසය,මේ සුවඳ දෙන්නැයි
අයදින්න නොහැකි

තැබූ හැම පියවරම කඳුලින් , රුධිරයෙන් තෙත්වී
කැබලිති උයෙන් මඟදී
නැවතත්  ළතෙත් විය නොහැකි
තිර හඬින් ඇසෙන්නේ ඔබේ මිමිණුම පමණි
අතීතය පසුකර  බොහෝ දුර ආ බැවින්
වෙහෙස නිවුමට මොහොතක්
නැවතුනා  පමණි
ජීවිතය ඇරඹී දිගු  කලක් ගතවී
දැන් ඉතින් මේ  ගමන නවතන්න නොහැකි
සිහිල් දිය ගලා යන  කඳුරක්ව ඇරඹි
නොරැඳි ගලා යනු පමණි ඉතිරි






Saturday, January 16, 2016

අතු පතර සිඳින විට නොහඬා ඉදින්නට උගත් ගසකට

අතු පතර  සිඳින විට
නොහඬා ඉදින්නට
උගත් ගසකට ,
පහල අත්තක රැඳී
මලක අනුචිත නික්ම යාමක්
මොහොතක රිදුමක්ම
පමණකි ,
කුඩාවට පිපුණු විට අතු අතර
නටු අගින් පමණක් බැඳී
සසල නල  සමඟ
පැවතීම උදෙසා තරඟය
වෙහෙසකි,
පිපිය යුතු කාලය
පෙර  නියම කර  ඇතිවිට
ලෝක නියමය  ලෙස
ජරපත්ව ගිලිහීම ඉරණමැයි
මල නොසිතන්නකි



Sunday, January 3, 2016

ඉදින් මේ රැයකි මුනිවර
ඉර උදාවට පැය ගනින ,
අමාවක දින ගණන් පසු  කර
හිතැති ලෙස  හිරු පායන